පුලස්ති ඍෂි රාවණා හෙළ වෙදකමේ කොහෙද? Pulasthi rishi sage rawana king

 

පුලස්ති ඍෂි
පුලස්ති ඍෂි


පුලස්තිලා නැති අගස්තිලා ඇති හෙළ වෙදකම

====================
සිංහල වෙදපොත් වල පුලස්ති ගේ වට්ටෝරු නැත. අගස්ති ගේ වට්ටෝරු ඇත.
+++++++++++++++++++++++
හෙළ වෙදකමේ නිර්මාතෘ පුලස්ති නම් එහෙම වෙන්නෙ කොහොමද?
***************************************
අපිට මේ දිනවල යූට්යුබ් වල සමාජ මාධ්ය වල බෙරිහන් දෙන හෙළ යක්ඛ පුතුන් ගේ කටේ ලෙලවන මහා රාවණ ගේ විස්මිත වෙදකමට පිය උරුමය දුන් පුලස්ති ඉසිවරයා ගැන අපේ වෙදපොත් වල නැත්තේ ඇයිද යන්න ගැටලුවකි. හිමාලයේ මහා ඍෂි සම්මේලනයේ මුල් පුටුව හොබවන්නට ලංකාවෙන් පුලස්ති ගිය බව කියමින් කෙප්ප කියමින් සමාජය නොමග යවන මේ රාවණ පෝතකයින් අපේ වෙද පොත් කියවන්නට තබා දැක හෝ නොමැති බව ඔවුන් ගේ මුග්ධ අදහස් වලින් පැහැදිලිය. ලෝකයට වෙදකම දුන්නේ හෙළයින් යැයි පුරසාරම් කියන බොහෝ දෙනා නිසි දැනුමක් හෝ හැදෑරීමක් නොමැතිව රැල්ලට කටමැත දොඩන බක පඬියන් බව නොබියවම කියමි.
අපේ වෙදපොත් සිසාරා බැලුවත් පුලස්ති ගේ හෝ රාවණ ගේ නම් හොයාගන්නට නොහැකිය. එසේ තිබේ නම් පෙන්වන ලෙස අභියෝග කොට බොහෝ කල් ගතවී ඇතත් එකදු හෙළ වෙද වීරයෙක් ඒ අභියෝගය භාරගත්තේ නැත. අපේ දේශීය වෙදකමේ අභිමානයට විනකරන පුලස්ති රාවණ කතා මිථ්යාවන් බව එකහෙළා පැවසිය හැකිය. පුලස්ති ගේ නම නැති සිංහල වෙදපොත් වල කරුමයකට අගස්ති ගේ නම ඉහළින්ම තිබේ. පුලස්ති නැති අගස්ති ඇති හෙළ වෙදකම ගැන ඉතා පැහැදිලි සාක්ෂි තිබේ. අපේ වෙදකමට අයත් බොහෝ ගුලි කල්ක වල එකතුවක් වන “වටිකා ප්රකරණය” නම් ග්රන්ථයේ සඳහන් සමහර ගුලි වර්ග වල වට්ටෝරු නිර්මාණය අගස්ති ඉසිවරයා පවරා ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලිය යුතුය. එක බුද්ධරාජ ගුලියක් අගස්ති නමින් ම නම් කොට තිබේ. එය “පුලස්ති බුද්ධරාජ ගුලිය” නොව “අගස්ති බුද්ධරාජ ගුලිය” නම් වේ.
පුලස්ති රාවණා
පුලස්ති රාවණා

අගස්ති මහමුනි සරස්වතී නම් රුසිවරු නව දෙන හට දුන්නේ
දෙව් ලොව බඹ ලොව පවතින මේ ගුලි ජීවකයින් හට දෙන මෙන්නේ
හාරදහස් සිව් සීයක් ලෙඩට ගුණ දිව මතුරක් ජපකළ මෙන්නේ
අගස්ති නම් මේ බුද්ධරාජ ගුලි මෙතෙකින් නිම කළ බව දන්නේ (1994)
එවැනි තවත් ගුලි කිහිපයක් මෙසේය.
දේවමාර්තු ගුලිය
අගස්තිය රුසි බලා දිවසින් කී මේ පිළිවෙත් කරන්නේ (4814)
කෝලරත්න ගුලිය
අගස්ති මුනි කී කෝලරත්න ගුලි ලෙඩ ගනඳුර දිවයුරු ලෙසිනා (4561)
ජීවකරත්න ගුලිය
අගතිසි ඉසි කී උත්තම ජීවක රත්නය ගුලි වෙත් (4074)
තෙල්බැඳි කපාල සන්නි ගුලිය
අගස්ති මුනි කී තෙල්බැඳි කපාල සන්නි ගුලිය නිමවිය මෙයිනා (3739)
සිව සන්නිරාජ ගුලිය
දැන අගතිසි කී සත්තක වන සිව සන්නිරාජ ගුලි ලෙඩ වනසන් (3556)
කෝල රාජ මහ විෂ්ණු ගුලිය
සත හට මෙත් සිතිනා අගතිසි පැවසූ දිව නැණිනා (3397)
කලියුග කෝල රාජ ගුලිය
කලියුගයට අගතිසි කී කලියුග කෝල රාජෙ ලෙඩ ගජ මිගි දා (3337)
සන්නිකපාල ගුලිය
අගතිසි කී පවරා ගුලියකි ඔසු ගෙයි තිබු අසුරා (2415)
කෝලකතුර ගුලිය
අගස්ති මුනිවර පැවසු පෙමින්නේ
කෝලකතුර ගුලි බල දැනගන්නේ (2342)
චින්තාමණි ගුලිය
අගස්ති නම් ඉසි උතුමෙක් පොරණෙහි සත වෙත කුළුණෙන් මෙගුලි කළා (2086)
කුමාර ගුලිය
අගතිසි මුනි කුමරුන් ගේ දුක දැක
පැවසූ මහබල කුමාර ගුලියෙක (1565)
දිවෞෂධ මහා ගර්භ ශාන්ති ගුලිය
මෙසත් තවන දිව ගර්බ සාන්තිය අගස්ති ඉසි පැවසුවයි මෙසේ (1439)
ක්රිමි විනාස ගුලිය
ලවමින් අගතිසි දිවනෙත් කුළුණෙන් බිලිඳුට පෙමකර (768)
අගස්ති සහ පුලස්ති යන නම් දෙකම පෙනෙනුයේ දක්ෂිණ භාරතීය සම්ප්රදායේ ය. ලංකාවට අතීතයේ පටන් ම දකුණු ඉන්දීය බලපෑම් වලින් නිදහසක් නොතිබිණ. විශේෂයෙන් ම අනුරාධපුර යුගයේ අගභාගය වන විට පැමිණි චෝල ආක්රමණ වලින් පසුව පුලස්ති පුරාවෘත්ත ප්රචලිත වූ බව ඉතිහාසය දන්නා අයට අමුතුවෙන් කියා යුතු නොවේ. පුලස්ති පුලතිසි වී අගස්ති අගතිසි වන්නේ ඒ සම්ප්රදායේ බලපෑම නිසාය. පොළොන්නරුව පුලතිසි පුර බවට පත්වන්නේ ද එලෙසින්ය. පොලොන්නරු යන සිංහල නාමය හමුවන මුල් ම අවස්‌ථාව සීගිරි ගීයකි. එය පරණවිතාන 'සීගිරි ගී' සංග්රහයේ අංක 213 දරන ගීයයි. ක්රි. ව. 8 වැනි සියවසට අයත් යෑයි සැලකෙන එම ගීය ලියූ රසිකයා තමන් 'පොලොනරු' සිට පැමිණි බව සඳහන් කර ඇත. වේලෙයික්‌කාර දෙමළ සෙල් ලිපියේ එම නාමය දෙමළෙන් ලියා ඇත්තේ 'පුලනාරු' කියාය. ඒ අනුව පුලස්තිපුර යන්නට වඩා පොලොනරු යන වදන පැරැණි බව පෙනේ.
පුලස්ති pulasthi rishi
පුලස්ති pulasthi rishi

කාලිංග මාඝ ආක්රමණයෙන් (ක්රි. ව. 1213 - 1234) පසුව ලියෑවුණු මහාවංසය දෙවන කොටසේ එම නාමය පාලියෙන් සඳහන් වන්නේ 'පුලත්ථිපුර' කියාය. මෙයින් පැහැදිලි වන්නේ 'පුලස්‌තිපුර' යන්න පසු කාලීන විකෘතියක්‌ මිස පොලොන්නරුවේ මුල් නාමය නොවන බවය. එයට කෙසේ වත් පුලස්ති සෘෂිවරයා හට සම්බන්ධයක් නොපෙනේ. එබැවින් පුලස්ති පොලොන්නරුවේ වාසය කළ හෙයින් එය පුලස්තිපුර වූ බව පැවසීම අමු කෙබරයකි. ඒ පුලස්තිපුරය චෝලයින් ගේ නිර්මාණයකි. මෙම නගරය ජනනාථපුර නමින් ද හඳුන්වා තිබේ. එහෙත් එය අනුරාධපුර යුගයේ දී “කඳවුරු නුවර” නමින් හැඳින්වූ බව පෙනේ. දුටුගැමුණු රජ කාලයේ පටන් අනුරාධපුර පාලකයන්ගේ අනුගරහය ඇතිව නිරන්තර සූදානමින් තිබූ බලකොටුවක් වූ නිසා පොළොන්නරුව කඳවුරුනුවර නමින් ද හඳුන්වන ලදි. එබඳු ඉතිහාසයක් සහිත පොළොන්නරුව පුලස්තිපුර කළ අයුරින්ම අපේ වෙදකමට පුලස්ති නම රිංගවා ඇත්තේ පසුකාලයේ දී බව පෙනේ. එහෙත් එයට කිසිදු සාධරණ ශාස්ත්රීය සාක්ෂියක් නොපෙනේ.
හෙළ වෙදකම පුලස්ති ඍෂි
හෙළ වෙදකම පුලස්ති ඍෂි

මෙවැනි සාක්ෂි රහිතව කටමැත දොඩවන හෙළ ලේබල් වෙදුන් ගේ පට්ටපල් බොරු ඔසවා තබන යුටියුබ්කාරයින් ගේ අරමුණ වන්නේ මිනිසුන් ගේ ජාතික හැඟීම් අවුස්සා මඩිය තර කර ගැනීමට ය. අද වන විට මිථ්යාව සමාජ ගත කිරීමේ අශාස්ත්රීය පදනම් විරහිත මන්ද බුද්ධික බලවේග වල එක ගොදුරක් වන්නේ අපේ දේශීය වෛද්ය ක්රමය වේ. එබඳු බොරුකාරයින් විවේචනය කරන විට ඔවුන් ගේ මතවාද බිඳවැටෙන විට සත්යය පෙන්වා දෙන පුද්ගලයා ඉලක්ක කොට අවමන් අපවාද කිරීමේ අශිෂ්ට අශික්ෂිත ගතියක් මේ කණ්ඩායම් තුළ තිබේ. නිසි ආකාරයෙන් කරනු ලබන තර්කානුකූල විවේචනයකට මුහුණ දීමට ඔවුන් තුළ ශාස්ත්රීය පෞරුෂයක් නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මිථ්යාව බදා ගෙන ඒවා තමන්ගේ අනුගාමිකයින් හා රස කරමින් තලු මරමින් බුක්ති විඳීමයි. ඒ ගැන කණගාටු වෙනවා හැර කළ හැකි අන් කිසිවක් නොවේ.
උපුටාගැනීම :- ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය