කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra
ලංකාවතාර සූත්‍රය |
ලංකාවතාර සූත්‍රය රවාණා රජු ගැන සාක්ෂියක් ද?
=======================
*******************************************
රාමායණය, මහා භාරතය හා පුරාණ ග්‍රන්ථ හැරුණු විට ලංකාධිපති රාවණ ගැන යම් සාක්ෂියක් ලෙස උපුටා දක්වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ ලංකාවතාර සූත්‍රයයි. මෙය අපේ රටේ රාවණාවාදීන් ගේ ද ඉතා ප්‍රබල උපුටා දැක්වීමක් වේ. ප්‍රධාන මහායාන සූත්‍ර 9 ට අයත් සූත්‍රයක් වන ආර්ය ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥානවාදී දර්ශනයට අයත් සිද්ධාන්ත අන්තර්ගත මූල ග්‍රන්ථයක් ලෙස සැලකේ.
ලංකාවතාර යන්නෙහි වචනාර්ථය වන්නේ ලංකාවට ඇතුළු වීම යන්නයි. කරුණු නොදන්නා පිරිස් මෙය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස සැලකුවද මෙය පශ්චාත් කාලීනව රචනා වූවක් බවට සූත්‍ර ආරම්භයේ එන
“නෛරාත්ම්‍යං යත්‍රධර්මාණාං ධර්මරාජේන දේශිත ලංකාවතාරං තත් සූත්‍ර මිහ යත්නේන ලිඛ්‍යතේ” යනුවෙන් සඳහන් ශ්ලෝකයෙන් ප්‍රකට වේ. මෙහි චීන පරිවර්තන හතරක් ගැන කියවේ. මුල්ම පරිවර්තනය සිදුවන්නේ ධර්මරක්ෂ අතිනි. ක්‍රි.ව. 443 දී මධ්‍යම භාරතයේ විසූ ආචාර්ය ගුණභද්‍ර භික්ෂුව විසින් ලංකාවට පැමිණ ලංකාවේ දී ම මෙම මෙය චීන භාෂාවට පරිවර්තනය කළ බැව් සඳහන් වෙයි. එහෙත් වර්තමානයේ මුද්‍රිත ලංකාවතාර සූත්‍රයේ පරිච්ඡේද දහයක් ඇතත්, ගුණභද්‍ර භික්ෂුවගේ මුල් පරිවර්තනයේ පළමු, තෙවැනි හා දසවැනි පරිච්‍ඡේද දක්නට නොලැබේ. මෙම පරිච්ඡේද පසු කාලයක ක්‍රි.ව 700-704 අතර බෝධිරුචි ආචාර්යවරයා විසින් කරන ලද පරිවර්තනය අනුව අද පවතින සූත්‍රය සකස් වන බව නිගමනය කළ හැකිය. එසේම ශික්ෂනන්ද නම් භික්ෂුවක් කරන ලද පරිවර්තනයක් ද තිබේ. චීන විද්වතුන් ට අනුව ලංකාවතාර සූත්‍රයේ වෙනස් රචනා තුනක් දක්නට ලැබේ. එහි විශාලතම ග්‍රන්ථය ශ්ලෝක 100,000 කි. දෙවන ග්‍රන්ථය ශ්ලෝක 36,000 කි. තුන්වැන්න ශ්ලෝක 1000 කින් සමන්විත ලංකාහෘදය නම් රචනාවයි.
මුල් බුදුසමයේ සූත්‍ර දේශනා සංගායනාවෙන් පසු "ඒවං මේ සුතං" යනුවෙන් ආනන්ද හිමියන් විසින් මෙසේ අසන ලදි යන මූල ප්‍රකාශය ද ඇතුළත්ව ඒ අනුසාරයෙන් ලංකාවතාර සූත්‍රයේ ආරම්භය "එවං මයා ශෘතම්" යනුවෙන් දැක්වීම ද විශේෂත්වයකි.
මෙහි රාවණා පිළිබඳ ඇත්තේ ‘රාවණාධ්‍යෙෂණි’ නම් පළමු පරිච්ඡේදයේ යි. ඒ අනුව බුදුන් වහන්සේ මලය පර්වතයේ විසූ රාවණ රජුගේ ආරාධනයෙන් ලක්දිවට වැඩ මහාමති නම් බෝසතුන්ට මෙම සූත්‍රය දේශනා කළ බැව් සඳහන් ය. මෙහි මුල් පරිච්ඡේදය හැරුණු විට සියලු පරිච්ඡේද වල සංවාදය සිදුවන්නේ මහාමති බෝධිසත්වයන් හා භාග්‍යවතුන් වහන්සේ අතරය. පරිච්ඡේද නවයකින් සමන්විත මෙහි අවසානය ශ්ලෝක 886 ඇතුළත් සගාථක නමින් හඳුන්වන විශේෂ පරිච්ඡේදයක් ද දක්නට ලැබේ. සූත්‍රය අවසානයේ දී එය හඳුන්වා ඇත්තේ "ආර්ය සද්ධර්මලංකාවතාර" නමිනි. මෙහි අන්තර්ගත කරුණු අතර, විඥාන පරිණාමය, තථාගත ගර්භය, නිරෝධ සමාපත්තිය, තථාගත නිත්‍ය අනිත්‍යතා, බෝධිසත්ව චරණය, ප්‍රතීත සමුප්පාදය, නිර්වාණ සංකල්පය යනාදී ප්‍රධාන විඥානවාදී සිද්ධාන්ත හා ඊට සම්බන්ධ දාර්ශනික අදහස් අන්තර්ගත වේ.
මෙහි අභිසම්භිධාන පිරිතේ මෙන් කියැවෙන ‘තුට්ටේ තුට්ටේ වුට්ටේ වුට්ටේ පට්ටේ පට්ටේ කට්ටේ කට්ටේ අමලෙ අමලෙ විමලෙ විමලෙ නිමෙ නිමෙ හිමෙ හිමෙ වමෙ වමෙ...ටු ටු ටු ටු .... ස්වාහඃ" ආදී වශයෙන් වූ ධාරණී මන්ත්‍ර ද අන්තර්ගත වේ.
මෙම සූත්‍රයේ රාවණා රජු ගැන කියැවෙන විස්තරය අනුව ඔහුගේ රාජධානිය මලය පර්වතය වේ. ඔහු ලංකාධිපති දසිස් රාවණ වන අතර යක්ෂයින් ගේ රජුය. එසේම පුෂ්පක යානය ඔහු සතුව තිබේ. ඔහු සංගීතය පිළිබද විශාරදයෙකි. ඉන්ද්‍ර නීල මාණික්‍යයකින් යුත් දණ්ඩකින් තැනූ වීණාවක් හා වෛඩූර්ය මාණික්‍යයෙන් සරසන ලද වස්දඬුවක් ද දරා සිටිමින් විවිධ ස්වරයන් ට අනුව ගායනා කළ හැකි දක්ෂයෙකි. එහි දැක්වෙනුයේ “මහායානය” දැනගැනීමට කැමති යක්ෂ යක්ෂණියෝ ලංකාවේ සිටින බවය. අවසානයේ කුම්භකර්ණ ඇතුළු රාක්ෂසයෝ මහායානය සරණ ගියාහු යනුවෙන් කියැවේ.
මෙම කරුණු වලින් එළඹිය හැකි නිගමන මොනවා ද?
++++++++++++++++++++++++++++++
1. ලංකාවතාර සූත්‍රය මහායාන ඉගැන්වීම් සහිත පසුකාලීනව රචනා වූ හෙයින් ථෙරවාද ත්‍රිපිටකයට අයත් නොවන සූත්‍රයකි. එය ප්‍රධාන මහායාන සූත්‍ර වලින් එකකි.
2. එය බුද්ධ පරිනිර්වාණයෙන් අවම වශයෙන් වසර 900 කට පමණ පසු රචනා වූ සූත්‍රයක් වන අතර චීනය තුළ වඩා ප්‍රචලිතව තිබේ.
3. එහි ලංකාධිපති රාවණා රජු ගැන සඳහන් රාවණාධ්‍යෙෂණි නම් පළමු වැනි පරිච්ඡේදය පසුකලෙක එකතු කරන ලද්දකි. එම පරිච්ඡේදය තුළ හැර අන් කිසිදු තැනෙක රාවණ රජු ගැන සඳහනක් නොමැති නිසා එය වඩාත් තහවුරු වේ.
4. මෙහි සඳහන් වන රාවණා රජු සහ රාමායණයේ සඳහන් වන රාවණ රජු අතර සමානකම් දක්නට ලැබේ. එහෙත් ලංකාවතාර සූත්‍රයේ රාවණා රජු රාමායණයේ සිටි රාවණා රජුට වඩා ප්‍රඥාවන්තයෙකි.
5. රාවණ රජු ජීවත් වූයේ ගෞතම බුදුන්වහන්සේට අවුරුදු 1844 කට කලින් බව රාවණ රාජාවලිය අනුව කියැවෙන හෙයින් මෙය රාවණ රජුට දේශනා කළ බව කීම පට්ටපල් බොරුවකි. අතේ පත්තු වන කෙබරයකි.
6. මෙම කාල රේඛාව සමපාත කිරීමට උත්සාහ කරන රාවණවාදීන් ගොතන අනෙක් බොරුව වන මෙම සූත්‍රය දේශනා කළේ ගෞතම බුදුන්වහන්සේ නොව වෙනත් බුදුවරයෙකු බව පැවසීම සූත්‍රය තුළින්ම අනාථ වේ.
7. එසේම ගෞතම බුදුන් අතීතයට ගොස් රාවණා රජුට මෙම සූත්‍රය දේශනා කළ බවට ද රාවණාවාදීන් හිත නිවෙන කතා කීවත් ගෞතම බුදුන්වහන්සේ ගේ සමයේ මහායාන ධර්මයක් නොතිබූ නිසා ඒ හිතළුව ද උපන්ගෙයිම අසරණව මියැදෙයි.
8. ඒ අනුව රාවණා රජු අනාගතයට ගෙන එමෙන් හෝ ගෞතම බුදුන්වහන්සේ අතීතයට ඇදගෙන යාමේ කාලතරණ කතා වලින් සිදුවන්නේ ඇදගෙන නෑම මිස අන් කිසිවක් නොවේ. එවැනි කතා මෝඩ අනුගාමිකයින් රඳවා ගැනීම සඳහා ප්‍රචාරක දැන්වීම් ලෙස පමණක් භාවිතා කළ හැකිය.
9. යම් හෙයකින් මේ සිද්ධිය ඓතිහාසිකව සත්‍යයක් නම් රාවණා රජු මහායානික ධර්මය සරණ ගිය අයෙකු නිසා සුපිරිසුදු ථෙරවාදී සම්ප්‍රදායට එරෙහි දහමක් අදහන රජෙකු නිසා හෙළ දීපයේ රජකමට සුදුසු දැයි දෙවරක් සිතා බලන්නට සිදුවේ.
10. ඒ අනුව ලංකාවතාර සූත්‍රය රාවණ රජුගේ පැවැත්ම ගැන සනාථ කිරීමේ ලා රාමායණයටත් වඩා දුර්වල හා අසම්බන්ධිත සාක්ෂියක් බව ඉතා පැහැදිලිය. ඒ අනුව රාවණාවාදීන් මෙවැනි පදනම් විරහිත සාක්ෂි කර තබා ගෙන ඒවා සත්‍ය ලෙස අනුගාමිකයින්ට ඒත්තු ගන්වා ඔවුන් මෙවැනි සංවාද තුළ අසරණ නොකළ යුතුය.
- ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
***********************************************************************
මෙව්ව ඉතිං කියලත් බෑ නොකියලත් බෑ.ඒත් ඉතින් මේවා ගැන දන්න අයගේ නිහැඬියාව නූගතුන් හට අවිචාරය සමඟ සංසර්ගයේ යෙදෙන්න අවස්ථාවක් හදන නිසා මේක කියලම දාන්න හිතුනා.-
පෙර අපර දෙදිග ප්‍රධාන වෙළඳ මාරගය වූ සේද මාවත දියුණු වූ සමයේ සේද මාවත ආසන්නයේ වයඹ දිග ටිබේටයේ ටාරිම් ද්‍රෝණිය යනු හින්දු සංස්කෘතියේ ආභාෂය තදිනම පැතිරී තිබූ ප්‍රදේශයකි.එහෙත් සේද මාවත සහ ටිබේටයේ ආසන්නතාව හේතුවෙන් මේ පෙදෙස තුල චීන ආභාශය ද පැවතුනි.එබැවින් මේ අමුතු ප්‍රදේශයේ තිබුනේ ඉන්දු-චීන මිශ්‍ර සංස්කෘතියකි(1).
ඛෝටානය නමින් ද හැඳින්වූ මෙම ප්‍රදේශය තුල ප්‍රධාන ආගම මහායාන බුදුදහම විය.එහෙත් ඒ තුල හින්දු මතවාද අතිවිශාල ප්‍රමාණයක් තිබුනි.බොහෝ බෞද්ධ සිතුවම් සහිත ගුහා තුලින් හින්දු දේව රූප රැසක් සොයාගෙන ඇති අතර ශිව,විෂ්ණු සහ සරස්වතී සහිත ඔවුන්ගේ දේව මණ්ඩලය තුල නායකත්වය මහායානය තුල සියලු බුදුවරුන්ට මූලිකත්වය දෙන ආදි බුද්ධ සමන්තභද්‍ර හෙබවීය(2).
ක්‍රිෂ්ණා වන්දනය සේම රාමායණය ද මෙම ප්‍රදේශය තුල ජනප්‍රියව තිබූ බවට සාධක ඇත(3).
මෙම රාමායණ කතාවේ වෙනස්කම් කීපයක් ඇතිමුත්,එහි ඇති එක් සුවිශේෂත්වයක් වන්නේ ථේරවාද ජාතක පාලියේ පවා සඳහන් දසරත ජාතකයේ ආභාෂය ඊට පැහැදිලිව ලැබී ඇථි බැව් පෙනී යාමයි.ඒ අනුව අතීත ඛෝටාන් වරු ද රාම යනු ගෞතම බුදුරජාණන්වහන්සේගේ බෝධිස්ත්ව භවයක් බව පිළිගනී.
ඛෝටාන රාමායණයේ සංක්ශිප්තය මෙසේය:
" දසරත හෙවත් සහස්‍රබාහු රජු පරශුරාම් හා යුද්ධ කොට පරාජය වී මිය යයි. එනමුත් රජ බිසව විසින් පුත්කුමාරවරුන් වන රාම හා ලක්ෂ්මණ සඟවා බේරාගනී.වැඩිවියට පත්වන රාම් හා ලක්ෂ්මණ් මීට පලිගැනීමට පරශුරාමයන් මරා දමති.පසුව ඔවුන් මුළු මහත් ජම්බුද්වීපයේම අධිපතියන් බවට පත්වේ.
ඒ අතර කාලයේදී රාක්ශසයන් පාලනය කරන්නේ දශග්‍රීව රාවණ නම් රජෙකි.ඔහුගේ අගබිසව හට දියණියක් ලැබුනු අතර ඈ සීතාය,එම දියණිය මුළු රකුස්වංසයේම අභාවය සිදු කරනු ඇත යන අනාවැකියක් කියවුනු බැවින්, සීතා දියණිය පෙට්ටියක දමා ගඟේ පාකර හරිනලදි.
එම දියණිය සෘශිවරයෙක් විසින් හදාගන්නා ලදි.පසුව රාම හා සීතා ගේ විවාහයත්.ඔවුන් තිදෙනා වනයට යාමත් විස්තර කර තිබේ.වනයට ගියපසු සීතා වටා මායාකවය හැඳ රාම හා ලක්ෂ්මණ දඩයමේ යති.ඔවුන් ගියපසු අහසින් යන දශග්‍රීවයන් මේ සුන්දර යුවතිය දැක ඒ තම දුව බව නොදැන රවටා ගනී.රැවටීම හේතුවෙන් කවයෙන් එලියට එන සීතාවට දශග්‍රීව අයුතු යෙජනවාවක් කරයි
.
සීතා ඒ යෝජනයාවට අකමැති වුවත් දශග්‍රිව ඈ බලෙන් පැහැර ගනී.ඉන් අනතුරුව අප දන්නා කතාවම සිදුවේ. මහා යුද්ධයක් ඇතිවේ,එහෙත් රාමයන් දශ්‍රීවයන් නොමරයි,ඔහුව පරාජය කිරීම පමනක් කරයි. එහි අවසානය ඛෝටාන රාමායණයේ ඇති ලෙසින්ම කිවහත් මෙසේය.
"සහස්‍රභාහි: පූර හර්යා"
සහස්‍රභාහුගේ පුතුන් (රාම හා ලක්ෂ්මණ.) දිවිගලවාගත්හ.
"රාමි හම්‍යෙ සූරාම් ම්‍යානා"
රාම මෙහි වීරයෙක් විය.
මෙයින් පසු ඛෝටාන රාමායණයේ අවසානය ලෙස ජාතක කතාවල ලෙසින්ම පූර්වාපර සන්ධිගැලපීමක් එයි. එය ඉතා සුවිශේෂය; අද ශාක්‍යමුනී බුදුරජාණන්වහන්සේ නම් එදා රාමයන්ය. මතු බුදුවන මෛත්‍රිය සම්බුදුරජුන් යනු ලක්ෂ්මණයන්ය. යුද්ධයෙන් පැරදුනු රාවණයන් වසර දහස්ගණනක් රාක්ශසයන් පාලනය කරමින් වාසය කරයි. එහෙත් රාමයන් අභාවයට පත්ව සිද්ධාර්ථ ගෞතම නමින් ඉපිද සම්බුද්ධත්වයට පත්වෙයි. උන්වහන්සේගෙන් බණ අසනන්ට රාවණ පැමිනෙයි. එහිදී ලංකාවතාර සූත්‍රය දේශනා කිරීම සිදුකරන ලදි.
ඒත් ඉතින් මධ්‍ය ආසියාවේ තියන මේ කිසිවක් නොදන්නා දූපත් මානසිකත්වයෙන් පෙළෙන් ලක්වැසියන් පිරිසක් "ලංකාවතාර සූත්‍රය" යනු කාශ්‍යප බුද්ධ කාලයේ සූත්‍රයක්ය, ඒකෙන් රාවණ කතාව් ඔප්පුවන්නේය ආදි නානාප්‍රකාර හාස්‍ය්ජනක කතා කියති. මේවා ඇසීමත් එක් අතකට අපිටනම් මහා විහිලුය.
මට හොඳට මතකුයි පරණ වෙබ් අඩවි තුල 2012 වසරේදී ලංකාවතාර සූත්‍රය පිළිබඳ රාවණ වාදි ඇතැමුන් පැවසූයේ ඒ බුදුන්වහන්සේ කාලය හරහා අතීතයට ගොස් දෙසූ සූත්‍රයක් ලෙස බව. දැන් ඒ වෙබ් පිටුත් හොයාගන්න නැත. ඒ විතරක් නොවේ, ලංකාවතාර සූත්‍රයේ කිසිම තැනක බුදුන්වහන්සේගේ ධර්මය අඩංගු නැත. එහි ඇතුලත් වන්නේ පසුකාලීනව නිර්මාණය කල මහායාන ඉගැන්වීම් වේ. සූත්‍රය ලියා ඇත්තේද සකු බසිනි, එහෙත් බුදුන්වහන්සෙගේ ධර්මය නම් ඇත්තේ මාගධි හෙවත් පාලි බසිනි. මේවාටත් අහුවෙන ලංකාවේ ඉන්නා දැඩි ලෙස අවිචාරයේ ගැලුනු මිනිසුන් හෙළකමටත් මහත් නිග්‍රහයක් බව කෙලින්ම කිව යුතුයි.
සටහන-අභිෂෙක් යසස්ථි රන්දෙනිය
සේයාරුව ඛෝටානයේ ශිව රූපයක්-යුචි යිසෙන්ග් නම්7න සියවසේ විසූ චිත්‍ර ශිල්පියා විසින් නිර්මිතය. මේ රූපය තුලින් ඛෝටානයේ තිබූ ඉන්දු-චීන සංස්කෘතිය මනාව පැහැදිලිවනු ඇත
1)http://balkhandshambhala.blogspot.com/.../balkh-khotan.html
2)https://medium.com/.../the-r%C4%81ma-story-and-sanskrit...
3)https://www.insa.nic.in/.../IJHS/Vol51_4_2016_Art12.pdf -ක්‍රිෂ්ණා වන්දනය
https://www.jstor.org/stable/594480?seq=1 -ඛෝටාන් රාමායණය
ලංකාවතාර සූත්‍රය-http://lirs.ru/do/lanka_eng/lanka-chapter-2.htm#chap2
කාශ්‍යප බුදුන් රාවණා රජු ලංකාවතාර |
**************************************************************************
ලංකාවතාර සූත්‍රයෙන් රාවණ චරිතය සනාථ කළ හැකිද?
ඉතිහාසයෙහි යම් යම් කාරණා සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමේ දී ඇතැම් බෞද්ධ සූත්‍ර ධර්ම ආදිය ඓතිහාසික මූලාශ්‍ර වශයෙන් යොදා ගත හැකි ය. ඉන්දීය ඉතිහාසය පිළිබඳ කතා කිරීමේ දී දීඝ නිකායෙහි එන මහාපිරිනිබ්බාණ සූත්‍රය වැනි සූත්‍රයන් ඓතිහාසික කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර වශයෙන් ද උපයෝගී වන්නේ ඒ අනුව ය. බොහෝ ථේරවාදී සූත්‍ර ධර්මයන්හි එන ඇතැම් සිදුවීම් හා කාරණා එකී සූත්‍රයන්ට සමකාලීන වීම ඒවා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වීමට හේතු වී තිබේ. එහෙයින් ඒ සූත්‍ර ඓතිහාසික කරුණු විශ්ලේෂණයේ දී සහේතුකව යොදා ගැනීමේ කිසිදු වරදක් නැත. ඒ අනුව ලක්දිව විසුවේ යැයි සැලකෙන ‘රාවණ’ නැමැති රජු සත්‍ය වශයෙන් ම ජීවත් වී යැයි සනාථ කිරීමට භාවිතා කරනු ලබන සූත්‍ර ධර්මයක් වන ලංකාවතාර සූත්‍රය එකී කර්තව්‍යයේ දී ප්‍රබල ඓතිහාසික මූලාශ්‍රයක්දැ’යි විමසා බැලීම කාලෝචිත ය.
ලංකාවතාර සූත්‍රය ථේරවාදී ත්‍රිපිටකයට අයත් සූත්‍රයක් නොවන බව මූලික වශයෙන් ම දැනගත යුතු ය. ඒ වනාහී මහායාන ධර්මයේ සම්පූර්ණ සාරය සංග්‍රහ කර ඇති සූත්‍රය වශයෙන් සැලකේ. මහායානිකයන් විසින් මෙය බුද්ධ දේශනාවක් යැයි පවසතුදු මෙම සූත්‍රය පසු කාලයේ ලියන ලද්දක් බව විචාරක මතය යි. ක්‍රි.ව. 443 දී පමණ මධ්‍ය භාරතයේ විසූ ආචාර්ය ගුණභද්‍ර නැමැති භික්ෂුවක් විසින් ලංකාවට පැමිණ ලංකාවේ දී මෙම සූත්‍රය චීන භාෂාවට පරිවර්තනය කළේ යැයි පැවසේ. ගුණභද්‍ර හිමියන්ගේ පරිවර්තනයට ලියන ලද චීන-ජපන් ටීකා ද රැසක් ම පවතී. ඊට පසුව ක්‍රි.ව. 7 වන සියවසේ දී බෝධිරුචි නම් ආචාර්යවරයෙක් විසින් ද මෙම ග්‍රන්ථය පරිවර්තනය කරන ලදි. ලංකාවතාර සූත්‍රය අද පවතින ආකාරයට සකස් වන්නේ ක්‍රි. ව. 7 සියවසේ දී යැයි සැලකෙන අතර පසු කාලයේ දී මෙය ඉංග්‍රීසි ආදී භාෂාවන්ට ද පරිවර්තනය වී තිබේ.
පැහැදිලි වශයෙන් ම මේ වනාහී මහායාන සූත්‍රයක් බව මහායානිකයින් විසින් මෙය භාවිතා කිරීමත්, ථේරවාදී ත්‍රිපිටකයෙහි කිසිදු තැනෙක මෙම සූත්‍රය දක්නට නොලැබීමත් යනාදී කරුණුවලින් පැහැදිලි කර ගත හැකි ය. එසේ ම පරිච්ඡේද නවයකින් යුත් මෙම සූත්‍රය ආරම්භ වන්නේ
‘ඕං නමො රත්නත්‍රයාය, ඕං නමො සර්වබුද්ධි බොධි සත්ත්වභ්‍යඃ’ වශයෙනි. පාලි සූත්‍ර ධර්මයන් ආරම්භ කරන ‘එවං මෙ සුතං’ යන ක්‍රමවේදය අනුගමනය කරමින්දෝ ලංකාවතාර සූත්‍රය ආරම්භ වන්නේ ද ‘එවං මයා ශ්‍රැතම්’ යන පාඨය දක්වමිනි. ග්‍රන්ථය අවසානයෙහි මෙය හඳුන්වා ඇත්තේ ‘ආර්යසද්ධර්ම ලංකාවතාර’ යන නාමයෙනි.
මෙහි රාවණ සම්බන්ධයෙන් සඳහන් වන්නේ ප්‍රථම පරිච්ඡේදයේ ය. එය හඳුන්වා ඇත්තේ රාවණාධ්‍යෙෂණි නමිනි. බුදුන් වහන්සේ මලය පර්වතයෙහි විසූ රාවණ රජුගේ ආරාධනයෙන් ලක්දිවට වැඩම කර මහාමති නම් බෝධිසත්වයින්ට මෙම සූත්‍රය දේශනා කළ බැව් එහි සඳහන් වේ. දේශනාව අතරතුර මහාමති බෝසතුන් බුදුන් වහන්සේගෙන් ද ප්‍රශ්න කරන අතර මෙම සූත්‍රයෙහි සඳහන් වන්නේ ලංකාව ‘මලය කඳු මුදුනේ’ පිහිටා ඇති බවයි. රාවණ යනු එහි විසූ රජු ය. හියුංසියං හිමියන් විසින් ද ලංකාද්වීපයෙහි ගිනිකොණ දෙසින් ලංකා නැමැති පර්‍වතය පිහිටි බවත්, ඒ පර්‍වතයෙහි ගැඹුරු ප්‍රපාතයන්හි අමුනෂ්‍යයින් වාසය කරන බවත්, බුදුන් වහන්සේ ලංකාවතාර සූත්‍රය දේශනා කරන ලද්දේ මෙතැන්හි බවත් පවසා ඇත. මෙම සූත්‍රයෙහි දේව, දේවී, නාග, නාගී, යක්ෂ, යක්ෂණී වැනි අමනුෂ්‍යයන්ගෙන් සිදු වන උපද්‍රව වළක්වා ගැනීම පිණිස බුදුන් වහන්සේ විසින් දේශනා කළැයි සැලකෙන මන්ත්‍ර ද අන්තර්ගත කර ඇත. අප පැහැදිලිව මතක තබා ගතයුතු කරුණක් පවතී. බුදුන් වහන්සේගේ දේශනාවෙහි මන්ත්‍ර නැත. මන්ත්‍ර පැවතියේ බ්‍රාහ්මණ වැනි පැරණි ඉන්දීය ආගමික සම්ප්‍රදායන් තුළ ය.
එසේ ම ථේරවාදයට පටහැනි යම් යම් කාරණාවන් ද ලංකාවතාර සූත්‍රයෙහි සංගෘහිත ය. නිදසුනක් වශයෙන් ලංකාවතාර සූත්‍රයෙහි අට වන පරිච්ඡේදය වන මාංස භක්ෂණ පරිවර්තයේ මස් මාංස අනුභවයේ දොස් දක්වා ඇත. ථේරවාදයේ උගන්වන ත්‍රිකොටි පාරිශුද්ධික මාංසය පවා මෙහි තහනම් කර තිබේ. (දේවදත්ත තෙරුන්ගේ පංච වරයන්ගෙන් එකක් වූයේ ද ‘භික්ෂූන් දිවි ඇති තෙක් නිර්මාංශී විය යුතු ය’ යන්නයි.)
මෙම සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරන ලදැ’යි සඳහන් වතුදු කවර බුදු වරයෙක් මෙය දේශනා කළේ ද යන්න පැහැදිලි නැත. මෙය ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ එකක් නොවන බව නම් පැහැදිලිවම කිව හැකි ය. මන්ද යත් රාමයණයෙහි මුල් කොටසට සමාන කතා පුවතක් ථේරවාදී ග්‍රන්ථ තුළ දසරථ ජාතකය නමින් දක්නට හැකි අතර එහි සඳහන් වන්නේ රාම කුමරු වනාහී බෝධිසත්වයන් වහන්සේගේ පූර්‍ව ජන්මයක් බවයි. නමුත් රාමායණයෙහි දක්නට ඇතත් දසරථ ජාතකයෙහි රාවණා නැමැති නාමයක් දක්නට නොලැබේ. දසරථ ජාතකය හා රාමායණය සම්බන්ධ දීර්ඝ ලිපියක් පසුගිය සතියක පළ කර තිබේ. ඒ අනුව දසරථ ජාතකය නිවැරදි නම් රාමායණයෙහි යුද්ධ කාණ්ඩය වැනි කොටස් ජනශ්‍රැතියේ එන ඇතැම් පුවත් අනුව හැඩගස්වා ඇති හුදු ප්‍රබන්ධ බව පෙන්වා දී තිබේ. එසේ ම ගෞතම බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර රාවණා නැමැති එවකට ලක්දිව විසූ බලවත් පාලකයෙකුට ධර්මය දේශනා කළේ නම් පැහැදිලිවම ලක්දිව රචිත මුල් කාලීන ග්‍රන්ථ වල ඒ අවස්ථාව සම්බන්ධයෙන් කුමක් හෝ තොරතුරක් සටහන් වී තිබිය යුතු ය. නමුත් එවැනි කිසිදු තොරතුරක් සඳහන් වී නැත. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථා පිළිබඳ සඳහන් කිසිදු තැනෙක රාවණාගේ ආරාධනයෙන් පැමිණි ගමනක් ගැන සඳහනක් නැත.
එසේ ම ථේරවාදී ධර්මයන්ට පටහැනි ඉගැන්වීම් කිහිපයක් ම ඇති හෙයින් ලංකාවතාර සූත්‍රය යනු හුදෙක් සම්බුද්ධ දේශනාවක් නොවන බව පැහැදිලි ය. ථේරවාදී ත්‍රිපිටකය සංග්‍රහ වී ඇත්තේ පාලියෙනි. එසේ ම ගෞතම බුදුන් වහන්සේගේ කාලයෙහි මහායාන ධර්මයක් පැවතියේ ද නැත. මහායානය බිහි වන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බව පිළිගන්නා මතයයි. ඒ අනුව ලංකාවතාර සූත්‍රය යනු පසු කාලයක රචනා වූ එකකැයි සැලකීම සහේතුක ය.
ලංකාවතාර නැමැති මහායාන සූත්‍රය ඇති වීමේ පසුතලය ද කල්පනා කර බැලිය යුතු ය. කාලයත් සමඟ ලාභාපේක්ෂාවෙන් බුදු සසුනේ පැවිදි වූ ඇතැම් අන්‍ය ලබ්ධිකයින් මේ වනාහී බුද්ධ වචනය යැයි කියමින් ඇතැම් බ්‍රාහ්මණ හා හින්දු සංකල්පයන් වැනි අන්‍ය ආගමික සම්ප්‍රදායන්ගේ වූ ඉගැන්වීම් මූලික කර ගනිමින් කටයුතු කළ බව සමන්තපාසාදිකා වැනි අටුවා ග්‍රන්ථ වල සඳහන් වේ.
තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය වන්නේ මෙවැනි දුර්මතධාරී භික්ෂූන්ගෙන් ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිස ය. සමකාලීන ශාසනයට අත් වී තිබූ ඉරණම පිළිබඳ විස්තර කිරීමට නිදසුනක් වශයෙන් සමන්තපාසාදිකාවේ බාහිර නිදාන වණ්ණනාවේ එන,
“තෙපි ඛො තිත්‍ථියා භික්ඛුසංඝෙන ධම්මෙන විනයෙන සත්‍ථු සාසනෙන නිග්ගය්හමානාපි ධම්මවිනයානුලොමාය පටිපත්තියා අසණ්ඨහන්තා අනෙකරූපං සාසනස්ස අබ්බුදඤ්ච මලඤ්ච කණ්ටකඤ්ච සමුට්ඨාපෙසුං. කෙචි අග්ගිං පරිචරන්ති. කෙචි පඤ්චාතපෙ තප්පන්ති. කෙචි ආදිච්චං අනුපරිවත්තන්ති. කෙචි ධම්මඤ්ච විනයඤ්ච වොභින්දිස්සාමාති පග්ගණ්හිංසු”
(ඒ තීර්‍ථකයෝද ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් නිග්‍රහ කරනු ලබනෝ ම ධර්ම විනයට ගැලපෙන පිළිවෙතහි නොපිහිටමින් සසුනට නොයෙක් අයුරු අවුල් ද කළිටි ද කටු ද ඉපදවූහ. ඇතැමෙක් ගිනි පුදත්. ඇතැමෙක් පංචතාපය [සතරදෙස ගිනි දල්වා එහි මැඳ සිට එම ගිනිවලින් හා හිරු රශ්මියෙන් සිරුර තැවීම] තපිත්. ඇතැමෙක් හිරු අනුව [උදේ සිට හිරු බැස යන තුරු] පෙරලෙත්. ඇතැමෙක් ධර්මයත් විනයත් බිඳ හෙලන්නෙමුයි දැඩි සේ ඉටා ගත්හ. එසමයෙහි භික්ෂු සමූහයා ඔවුන් සමඟ පොහොය නොකළේ ය.)
යන සඳහන පෙන්වා දිය හැකි ය. ලංකාවතාර සූත්‍රයද බුද්ධ දේශනාවක් යැයි මහායානිකයන් පිළිගත්ත ද සැබැවින් ම එය දෙවන ධර්ම සංගායනාවෙන් පසු ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් හා බුදු සසුන දුර්වල කිරීමේ බලාපොරොත්තුවෙන් භික්ෂු ශාසනයට පැමිණි අන්‍ය මතධාරී තීත්ර්‍ථකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බව සිතීම එක් අතකින් සාධාරණ යැයි සිතේ.
ධර්මාශෝක රජුගේ අනුග්‍රහය යටතේ ශාසනය ශුද්ධ කොට ධර්ම සංගායනාවක් පැවැත් වූවද ඒ වන විටත් බුදු සසුන තුළම ථේරවාදයට පටහැනි ඉගැන්වීම් සහිත නිකායන් සහමුලින් ම උදුරා දැමීමට අශෝක රජුට හැකි වූ බවක් පෙනෙන්නට නැත. මන්ද යත් ඉන් පසු කාලයේත් බුදුන් වහන්සේගේ දේශනාවට නොගැලපෙන ඉගැන්වීම් සහිත නා නා නිකායන් පැවති බවත්, ඒවා ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් තදාසන්න ඇතැම් රටවල්වලට ව්‍යාප්ත වී ගිය බවත් පැහැදිලිව දැකිය හැකි හෙයිනි. එපමණක් නොව තෘතිය ධර්ම සංගායනාවෙන් ධවල වස්ත්‍ර හඳවා ශාසනයෙන් පිටුවහල් කළ ඇතැම් පිරිස් රජගහනුවර සමීපයේ නාලන්දාවට රැස් වී කතිකා කොට යළි පැවිදි වූ බවත්, පසුව කොසඹෑනුවරට රැස් වූ බවත් මූලාශ්‍ර වල සඳහන් වේ. ඔවුන් විසින් ඇති කරගත් නිකායන් හා උක්ත නිකායන් ආශ්‍රිතව බිහි වූ ග්‍රන්ථයන් ද තරමක ප්‍රමාණයක් නිකාය සංග්‍රහයෙහි සඳහන් වී තිබේ.
“...එයින් හේමවතයෝ බුදුන් වදාල තැන් මෙන් සද්ධර්‍මප්‍රතිරූපකොට වර්‍ණපිටකය කළහ. රාජගිරිහු අඞ්ගුලිමාලපිටකය කළහ. සිද්ධාර්‍ථකයෝ ගුඪවෙස්සන්තරය කළහ. පූර්‍වශෛලීහු රට්ඨපාල ගර්ජිතය කළහ. අපරශෛලිහු ආලවක ගර්ජිතය කළහ. වජ්‍රපර්‍වතවාසීහු ගුඪවිනය කළහ. තවද ඔහු හැම මායාජාලතන්ත්‍ර ය, සමාජතන්ත්‍ර ය, මහා සමයතත්‍වය, තත්‍වසංග්‍රහ ය, භූතචාමරය, වජ්‍රාමෘතය, චක්‍රසංවරය, ද්වාදශචක්‍රය, භෙරුකාද්බුදය, මහාමායා ය, පදනිඃක්‍ෂෙප ය, චතුෂ්පිෂ්ට ය, පරාමර්‍දය, මරීච්‍යුද්භවය, සර්‍වබුද්ධ ය, සර්‍වගුහ්‍යය, සමුච්චය ය යනාදී වූ තන්ත්‍ර ද, මරිචිකල්පය, හෙරම්බකල්ප ය, ත්‍රිසමයකල්ප ය, රාජකල්ප ය, වජ්‍රගන්‍ධාරකල්ප ය, මරීචිගුහ්‍යකල්පය, ශුද්ධසමුච්චය කල්ප ය, මායාමරීචි කල්ප ය යනා දී වූ කල්ප ද ඉපදවූහ.
වෛතුල්‍යවාදීහු වෛතුල්‍යපිටකය කළහ. අන්‍ධකයෝ රත්නකූටාදී වූ ශාස්ත්‍රාන්තර රචනා කළහ. අන්‍ය මහා සාඞ්ඝිකයෝ අක්‍ෂරසාරියා වූ සූත්‍රාන්ත රචනා කළහ. ඔවුන් ඒ ප්‍රකරණ රචනා කළ ක්‍රම වෙන වෙන දක්වත් ඉතා බෙහෙවි...”
යනාදී වශයෙන් එය පැහැදිලි ය. ඔවුන් විසින් ස්වකීය නිකායන්ට අනුගතව ඒ ඒ ප්‍රකරණ රචනා කළ ක්‍රම වෙන වෙන දැක්වුවහොත් අතිශය බොහෝ වන බව උක්ත ග්‍රන්ථයම පෙන්වා දී තිබේ. එහෙයින් ලංකාවතාර සූත්‍රය යනු බුද්ධ දේශනාවක් නොවන බව සහේතුක හෙයින් ඇතැම් විට මෙසේ පසු කාලයේ දී බුද්ධ දේශනාවට අනුගත නොවන ඉගැන්වීම් හුරු කළ නිකායක ග්‍රන්ථයක් බව පැහැදිලිවම පෙනී යයි.
ඉහත ඉදිරිපත් කර ඇති කරුණු අනුව සලකා බලන විට නිත්‍ය වශයෙන් ම ලංකාවතාර සූත්‍රය ඓතිහාසික කරුණු සනාථ කිරීමේදී උපයෝගී කරගත නොහැකි දුර්වල මූලාශ්‍රයක් හා හුදු ප්‍රබන්ධයක් බවත්, එය ආශ්‍රය කරගනිමින් එක් සාහිත්‍ය ග්‍රන්ථයක පැනෙන රාවණ නැමැති චරිතය තහවුරු කිරීම කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය ක්‍රියාවක් නොවන බවත් පැහැදිලිවම අප වටහා ගත යුතු කාරණාවකි.
ශකිල රාජකරුණා
Comments
Post a Comment