ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ශ්‍රී ලංකාව ද? Lowest gravity on earth Srilanka

 




ගුරුත්වය අඩුම රට
ගුරුත්වය අඩුම රට 

----1 ලිපිය ---මිෂන් ග්‍රේස් පිලිබඳ ප්‍රචාරය කල බොරු ------ බුදු උපත ලංකාවේ වගට පවසන්නන් ගෙන යන තවත් මුසාවකි ලංකාව යනු ගුරුත්වය අඩුම රට වන බවට..ඔව්න් බොහෝම අභිමානයෙන් පවසන්නේ එය නාසා ආයතනය මගින්ද තහවුරු කොට ඇති බවයි..විශේෂයෙන් "මීවනපලානෙ ධම්මාලංකාරයන්" පවා එය මත පදනම්ව හිරිවඩුන්න පිලිබඳව බොහෝ පුරසාරම් දොඩවා ඇත..
නමුත් හාස්‍යයට කරණනම් නාසා ආයතනය විසින් තම මිශන් ග්‍රේස් ව්‍යාපෘතිය මගින් මාස 13 ක් තිස්සේ ලබාගත් දත්ත මත පදනම්ව නිකුත් කල ගුරුත්ව සිතියමට අනුව ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවීමයි..😂 එයට අදාල නාසා ගුරුත්ව සිතියම මෙහි අමුනා ඇති අතර ඕනෑම අයෙකුට එම සිතියම විශාලනය කිරීමෙන් මෙම කරුණ තහවුරු කරගත හැක..
එයට අමතරව මෙහි මා එම සිතියම විශාලනය කොට දක්වා ඇති අතර මිෂන් ග්‍රේස් ව්‍යාපෘතියට පෙර පල කල සිතියමට අනුවද ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවන වග ඉතා පැහැදිලිව දැක ගත හැක..
ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය
ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය

----2 ලිපිය---grace and goce--- මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව.
බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15.
මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු...
A) ලෝකයේ මැද ශ්‍රී ලංකාව.
😎 ලෝකයේ අඩුම ගුරුත්වය ඇති තැන ලංකාව.
C) එබැවින් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව.
D) බුදු බව ලබාගැනීමට, මාර්ගඵල ලබාගැනීමට ගුරුත්වය අඩු වෙන්න ඕනේ.
E) නාසා ආයතනයේ සිතියමේ විදියට ලංකාවේ තමයි අඩුම ගුරුත්වය තියෙන්නේ. (අංක 2 ඡායාරූපය)
මේ කරුණු ගැන එකින් ඒක සාධක සාක්ෂි සමග සලකා බලමු.
1. පෘතුවිය යනු සමකයෙන් මදක් එළියට නෙරා ගිය ගෝලයකි.
2. ගෝලයක පෘෂ්ඨයේ ඒක ස්ථානයක් එහි හරි මැද ලෙස පැවසීය නොහැක.
3. ගෝලයක හරි මැද ඇත්තේ එහි අභ්‍යන්තරයේ මධ්‍ය ලක්ෂයේ ය.
(අංක 3 ඡායාරූපය)
4. එබැවින් ශ්‍රී ලංකාව පෘථිවි ගෝලයේ මැද ඇති බව පැවසීම මිථ්‍යාවකි. (අංක 4 ඡායාරූපය)
දැන් ගුරුත්වය ගැන සලකා බලමු.
5. ගුරුත්වය අධ්‍යනය කිරීමට හා සිතියම් ගත කිරීමේ අන්තර්ජාතික ව්‍යාපෘති දෙකකි.
a) නාසා ආයතනයේ GRACE ව්‍යාපෘතිය.
මෙය 2002 වසරේදී ආරම්භ කර 2017 වර්ෂයේදී අවසන් කරන ලදී.
b) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE ව්‍යාපෘතිය.
මෙය 2009 වර්ෂයේදී ආරම්භ කර 2013 වර්ෂයේදී අවසන් කරන ලදී.
6. මෙම ව්‍යාපෘති දෙක මගින්ම ලෝකයේ ගුරුත්වය අධ්‍යයනය කර සිතියම් ගතකිරීම සිදුකර ඇත.
7. එමගින් ලෝකය පුරා ගුරුත්වය ඒකාකාරී නොවන බවත් අඩු හා වැඩි ගුරුත්ව කලාප රාශියක් සෑම මහද්වීපය කම සහ මුහුදේ විසිරි ඇති බවත් තහවුරු කර ඇත.
(අංක 5,6,7,8 ඡායාරූප)
8. ලංකාව ආසන්නයේද මෙවැනි අඩු ගුරුත්ව කලාපයක් ඇති අතර Indian Ocean Geoid Low (IOGL) ලෙස එම කලාපය හඳුන්වයි. (අංක 9 ඡායාරූපය)
9. මෙම කලාපයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ලෙස ලංකාව තුළ නොව ලංකාවට පිටතින් ලක්ෂදිව් මුහුදේ ලෙස හඳුනා ගෙන ඇත.
(අංක 10 ඡායාරූපය)
10. එසේම මෙම GRACE හා GOCE ව්‍යාපෘති දෙකේම සම්පූර්ණ දත්ත හා ගොඩබිම් රේඩාර් මගින් ලබාගත් භූවිෂමතා දත්ත සියල්ල එකතු කර විමර්ශනය කළ ඕස්ට්‍රේලියාවේ කර්ටින් සරසවිය වඩාත් සවිස්තරාත්මක සිතියමක් ගොඩනගා ඇත.
ලින්ක් 👇👇👇
https://www.newscientist.com/article/dn24068-gravity-map-reveals-earths-extremes/
👇👇👇
Geophysical Research Letters, DOI: 10.1002/grl.50838
11. එම සිතියම අනුව ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය දකුණු ඇමරිකාවේ පිරූ රජ්ජ්‍යයේ Nevado Huascarán කඳු වැටිය බව තහවුරු කර ඇත. (අංක 11 ඡායාරූපය)
12. එසේම ලංකාව අවට ඇති අඩු ගුරුත්ව කලාපයේ (IOGL) අඩුම ගුරුත්වය ඇති ස්ථානය ලෙස ලංකාවෙන් බැහැර ලක්ෂදිව් මුහුද හඳුන්වා ඇත.
13. එසේම නාසා ආයතනයේ යැයි කියන මොවුන් පෙන්වන සිතියම GRACE ව්‍යාපෘතියේ සිතියමක් නොවන අතර යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE ව්‍යාපෘතියේ මුල් මාස දෙකක පමණ දත්ත උපයෝගී කරගෙන සෑදූ මුල් කාලීන සිතියමකි.
(අංක 2 ඡායාරූපය)
14. මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී ගෝලයක් වන පෘතුවි පෘෂ්ඨයේ හරි මැද ශ්‍රී ලංකාව පිහිටා ඇතැයි කීම බොරුවකි.
15. එසේම අඩුම ගුරුත්වය ඇති තැන ලංකාවේ පිහිටා ඇති බව කීම සත්‍ය කරුණු වසංකර ගොතා ඇති බොරුවක් බව ද පැහැදිලිවේ.
16. එබැවින් මේ බොරු තර්ක දෙක මත පවසන බුදු වරුන් පහළ වන මධ්‍ය මණ්ඩලය/ මධ්‍ය දේශය ලංකාව බව පෑවසිමද කිසිදු පදනමක් නැති බොරු මතයක් බව තහවුරු වෙයි.
17. එසේම මේ අඩු ගුරුත්වය බුදු බව ලබාගැනීමට හෝ මාර්ගඵල ලබාගැනීමට අවශ්‍ය වනවා යන කරුන ත්‍රිපිටක බුද්ධ දේශනා කිසිවක කිසිම අයුරකින් සඳහන් නොවන සහ බෞද්ධ සාහිත්‍යයේ ද කිසිදු තැනක සඳහන් නොවන මිත්‍යාදෘෂ්ටිය ක් බවද පැවසීය යුතුයි. (අංක 1 ඡායාරූපය)
18. එසේම මෙය සත්‍යයක් නම් මෙවැනි වැදගත් අත්‍යවශ්‍ය කරුණක් බුදු රජාණන් වහන්සේ දේශනා නොකර සිටියිද??
19. අඩු ගුරුත්වය මාර්ගඵල ලබාගැනීමට හේතුවක් නම් ශුන්‍ය ගුරුත්වය ඇති අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි ස්ථානවල මාස ගණන් ගත කරන අභ්‍යවකාශ ගාමින් මාර්ගඵල ලබාගත යුතු නොවේද?
20. රුසියානු මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 1994 ජනවාරි මාසයේ සිට 1995 මාර්තු මාසය දක්වා (දින 438) වර්ශයකටත් වඩා අධික කාලයක් ගත කර වාර්තාවක් පිහිටවූ රුසියානු අභ්‍යවකාශගාමි වැලරි පොල්යාකොව් මාර්ගඵල ලබාගත යුතු නොවේද? (අංක 12 ඡායාරූපය)
21. ශුන්‍ය ගුරුත්වයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකර සියලු දෙනා මාරුවෙන් මාරුවට එහි යැවීමෙන් හෝ පොළවේම ශුන්‍ය ගුරුත්ව ඇති මධ්‍යස්ථාන ඇති කර හැකි සියලු දෙනාට මාර්ගඵල ලබාදීමට ව්‍යාපෘති ඇති කළ යුතු නොවේද???
22. බුද්ධ දේශනාවේ සඳහන් නොවන හා නූතන විද්‍යාව මගින්ද බොරුවක් වන මේ මිථ්‍යාවන් වලින් බෞද්ධ ඔබ සැම නොමග යා යුතුද???
ගුරුත්වාකර්ෂණය අඩුම ශ්‍රීලංකාව
ගුරුත්වාකර්ෂණය අඩුම ශ්‍රීලංකාව

----3 ලිපිය-------geoid------- බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 31
බුදු රදුන් ලංකාවේ බවට නොයෙක් විකෘති සාධක ඉදිරිපත් කරන පිරිස ලෝක ගෝලයේ රූපයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ විකෘති අදහස් කිහිපයක් ඉදිරිපත් කරයි.
එනම්
1.) මේ සිතියම පෙන්වන්නේ ලෝක ගෝලයෙන් ජලය ඉවත් කළහොත් එහි හැඩය බව( එනම් ජලය නැත්නම් පෘථිවිය ගෝලාකාර නොවන බව)
2.) පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය ලෝකයේ අනිත් ස්ථාන වලට වඩා ලංකාවට ආසන්න බව
3.) ඒ අනුව ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ලංකාවේ බවත් ( ඇතැමුන් එය නාලන්දා ගෙඩිගෙය ඇති ස්ථානය බවට තවත් ඉදිරියට යයි)
4.) ලෝකයේ මධ්‍ය හෙවත් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය මෙය බව නාසා ආයතනය වාර්තාවක් නිකුත් කර ඇති බව.
බුදු රදුන් ලංකාවේ බව පවසන මේ පිරිස ඉදිරිපත් කළ අනිකුත් සාධක සේම මෙය ද විකෘතියක් වන අතරම බෞද්ධයන් නොමග යැවීම පිණිස ඉදිරිපත් කරන මේ සිතියම ඔවුන්ට ද නොවැටහෙන බවක් පැහැදිලිවම පෙනී යයි.
මොවුන් පෙන්වන මේ ඡායාරූපයේ ඇත්තේ පෘථිවි ගෝලයේ "Geoid" නමින් හදුන්වන ආකෘතියක කොටසකි.
කුමක්ද මේ Geoid නම් ආකෘතිය?
මෙම සංකල්පය ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයකු වන කාල් ෆෙඩ්රික් ගවුස් ( 1777- 1855) විසින් මුලින්ම විස්තර කර ඇත.
ලෝක ගෝලය පිළිබඳ ගණිතමය ආකෘතියක් ලෙස මෙය හඳුන්වයි.
Geoid
~~the shape that the ocean surface would take under the influence of the gravity and rotation of Earth alone, if other influences such as winds and tides were absent.~~
එනම්
~ ගුරත්වය සහ පෘථිවියේ කරකැවීම අනුව පමණක් (අනිකුත් සාධක වන සුලං සහ උදම් නොසලකා) සැලකූ විට සමුද්‍රයේ මතුපිට හැඩය~
එසේම භෞතික විද්‍යාඥ ගවුස් මහතා විස්තර කළ ආකාරය
~~it is the "mathematical figure of the Earth", a smooth but irregular surface whose shape results from the uneven distribution of mass within and on the surface of Earth.~~
~~පෘථිවිය තුළ හා මතුපිට ස්කන්ධයේ අසමමිතික විසිරීම අනුව සකස් කළ සුමට, නමුත් අක්‍රමවත් පෘෂ්ඨයක් ඇති ගණිතමය ආකෘතිය~~
එනම් මෙය සම්පූර්ණ ගණිතමය ආකෘතියක් පමණක් වන බවයි.
එසේම මෙම සංකල්පය අනුව පෘථිවියේ ආකෘතියක් ගොඩනගා ගත හැකි වූයේ 21 වන ශතවර්ෂයේ ගුවන් ගත කළ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE හා නාසා ආයතනයේ GRACE චන්ද්‍රිකා වැඩසටහන් අනුව බවයි.
මෙහිදී ගණිතමය වශයෙන් නිර්මාණය කළ පෘතුවියේ හැඩයට සමාන Referrence Elipsoid ( සමකය අසලින් මදක් එළියට නෙරා ගිය ගෝලයක් වැනි) ආකෘතියක් භාවිතා කර, එයට සාපේක්ෂව පෘථිවියේ ඝනත්වය වෙනස් වීම අනුව ගුරුත්වය අඩු වැඩිවීම සලකුණු කර ඇත.
Referrance elipsoid එකට සාපේක්ෂව ගුරුත්වය වැඩි ස්ථාන රතු පැහැය දෙසටත් අඩු ස්ථාන නිල් පැහැය දෙසට ත් සලකුණු කර ඇත.
එසේම මෙම ගණිතමය Geoid ආකෘතියේ මතුපිට සෑම ස්ථානයකම ගුරුත්ව බලය සහ කෙන්ද්‍රෝපසාරි බලය සමාන වන අතර සෑම ස්ථානයකම Geoid පෘෂ්ඨයට ලම්බක ලෙස ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙයි.
එසේම පෘථිවිය තුළ සහ මතුපිට ස්කන්ධය අතිරික්තයක් ~positive gravity anomaly (mass excess)~ ඇති ස්ථාන වල referrence elipsoid එකෙන් එලියට නෙරා ඇති අතර ස්කන්ධය හිඟයක් ~negative gravity anomaly (mass deficit)~ ඇති ස්ථාන ඇතුළට නෙරා ඇත.
පෘථිවි පෘෂ්ඨයෙන් මේ Geoid ආකෘතිය වෙනස් වන එක් ආකාරයක් නම් සැබෑ පෘථිවි පෘෂ්ඨයේ ඇති අතිවිශාල විචලනයන් මෙහි නොමැති වීමයි.
එනම් ඒවරස්ට් කන්ද මිටර් 8848ක් උස වන අතර මරියානා අගාධයේ ගැඹුර මීටර් 11034 ක් වන අතර ලෝකයේ සැබෑ පෘෂ්ඨයේ උසම හා ගැඹුරුම ස්ථාන අතර වෙනස 19882m ලෙස සටහන් වෙයි.
නමුත් මේ Geoid ආකෘතියේ වැඩිම (ඉන්දුනීසියාව +86m) සහ අඩුම (ඉන්දියන් සාගරය ලංකාවට දකුණින් -106m) ස්ථාන අතර වෙනස 200m පමණ වෙයි.
එසේම ඉන්දියන් සාගරයේ ලංකාව, මාලදිවයින් සහ ඉන්දියාවේ ද කොටසක් ඇතුළුව ඇති ඉන්දීය සාගර අඩු ගුරුත්ව කලාපයේ (Indian ocean geoid low) පහත්ම ස්ථානය ලංකාව නොවන අතරම ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ද ලංකාව නොවෙයි.

මෙම කරුණු අනුව ලිපිය ආරම්භයේදී ඉදිරිපත් කළ කරුණු හතර සලකා බලමු.
1.) මෙම පිරිස පෙන්වන geoid ආකෘතිය මුහුදු ජලය ඉවත් කළ පෘථිවි පෘෂ්ඨයේ හැඩය නොවන බවත් එය ගණිතමය ආකෘතියක් පමණක් බවත් තහවුරු වෙයි. එසේම අප ඉදිරිපත් කර ඇති මුහුදු ජලය ඉවත් කළ පසු පෘථිවියේ නියම ආකාරය පෙන්වන ඡායාරූපය අනුව එහි ගෝලාකාර හැඩය නොවෙනස්ව පවතින ආකාරය දැක බලාගත හැක.
2.) හා 3.) කිසිදු පදනමක් නොමැති හිතළු මිස සත්‍ය නොවෙයි.
4.) නාසා ආයතනය නිකුත් කළ ලෝකයේ අඩුම ගුරුත්වය ලංකාවේ බව පවසන කිසිදු වාර්තාවක් නොමැත.
අවසානයේ කිවයුත්තේ මෙම geoid නැමති ගණිතමය ආකෘතිය තේරුම් ගැනීමට අපහසු පිරිසක් එයට විකෘති අර්ථකථන දෙමින් බෞද්ධයන් නොමග යවන බවයි.
එසේම තමන් රහත් යැයි පවසන සමාපත්තියෙන් ඉතිහාසය පෙන්වන අය ද මෙම ආකෘතිය තේරුම් ගත නොහි සුරංගනා කථා පවසන බවයි. ---4 earthaque wath srilanka article----- මේ දවස් වල යම් යම් පුද්ගලයින් විසින් ගෙනියන කරුණක් තමා ලංකාවේ යම් ස්ථාන වල ලෝකයේම අඩුම ගුරුත්වය (Lowest Gravity) තියෙනවා කියන කථාව..ඒ වගේම එකෙන් වෙන දේවල් කිහිපයක් ගැනද ඒ අය යම් මතයක් කියලා තියෙනවා...
ඉතින් අපි ඒ කතාවේ ඇත්ත නැත්ත බලමු..
මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේන්නේ නැති තාක්ෂණික වචන (Technical words) නිසා කම්මැලි බවක් දැනෙයි..සමහර අයට පටස් ගාලා තේරෙයි..ඉතින් කරන්න දෙයක් නැහැ ඇත්ත දැනගන්න නම් කියවලා බලන්නම ඕනේ..
ඒ වගේම මම ඔබට තව දෙයක් යෝජනා කරනවා..මේ කාරණයේදී යම් අන්තර්ජාල ලිපි තියෙනවා ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් ලියපු..අවාසනාවට ඒ ලිපි වලින් නම් පේන්නේ සමහර අය ටිකක් ඇත්ත වෙනුවට එක මතයකින් ඒ ලිපි ලියා ඇති බවයි..
ඒ නිසා ඒවා මගහැර නාසා වෙබ්සයිට් එකේ දාලා තියෙන කරුණුයි පර්‍යේෂණ වාර්තා පිලිබද ලිපි පමණක් කියවන්න..
තව දෙයක් NASA එකෙන් පුරාවිද්‍යා ගවේෂණ කරන්නේ නැහැ..
ආරම්භය
NASA එකෙන් මේ gravity field එක ගැන mission දෙකකදී සොයා බැලුවා..ඒ Mission දෙක තමා GRACE හා GOCE..
මෙතනින් වැදගත් වෙන්නේ මේ GRACE මෙහෙයුමයි..මේ GRACE කියන අකුරු ටිකෙන් කියැවෙන්නේ Gravity Recovery and Climate Experience කියන එකයි.ඇරඹුනේ 2002 ඉවර උනේ 2017..
මේ GRACE මෙහෙයුමෙන් කාලය සමග වෙනස්වුනු ගුරුත්ව විෂමතාව (Gravity anomalies) ගැන සොයා බැලුනා..මේ ගුරුත්ව ක්ෂේත්‍රයේ (Gravity field) විශාලත්වය කාලයෙන් කාලයට වෙනස් වෙනවා සමහරු හිතන් ඉන්නේ මේක සදාකලික නියතයක් කියලා ඉතින් ඒ අදහස වැරදි..
මොකද 2004 සුනාමියෙන් පසු ඉන්දුනිසියාවේ ගුරුත්වය වෙනස්වී තිබෙන්වා..ඒක මේ GRACE mission එකේදී study කරලා තියෙනවා..හේතුව භූමිකම්පාවෙන් පසු පාෂාණ ස්ථරය වෙනස් වීමයි..
කොහොමද මේ ගුරුත්ව ත්වරණය (Gravitational acceleration) තැනින් තැනට වෙනස් වෙන්නේ?
1. සමකයේදී (Equator) පෘථිවියේ භ්‍රමණය නිසා සමකයේදී කේන්ද්‍රාපසාරී බලය (Outward centrifugal force) වැඩි නිසා සමකයේදී වස්තුවක ගුරුත්ව ත්වරණය අඩුයි..
2. Equatorial bulge ( සමකයේදී පෘථවියේ ඇති පිම්බුනු ස්වාභාවය නැත්නම් හරියටම ගෝලාකාර නොමැති බව නිසා) gravitational attraction එක අඩු වී ගුරුත්ව ත්වරණය අඩුයි..
මේ හේතුව නිසාම උස් කදු මුදුන් (Higher altitudes) වලදීද ගුරුත්ව ත්වරණය අඩුයි.
3. පොළව මතුපිටට යටින් ඇති පාෂාණ ස්ථරයේ ඝනත්වය අඩු නම් ඒ අවස්ථාවේදීද මේ ගුරුත්ව ත්වරණය අඩු වෙනවා..
හරි අපි දැන් ගුරුත්ව ත්වරණයේ අඩු වීමට හේතු හොයලා බැලුවා..දැන් බලමු එක් එක් ස්ථානය අනුව..
1. 2013 ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය කියලා තියෙනවා ලෝකයේ අඩුම ගුරුත්ව ත්වරණය තියෙන්නේ දකුණු ඇමරිකාවේ පේරු වල Nevado Huascarana කියන කදු මුදුනෙයි..ඒකට හේතුව සමකයේ වීමත් උස් කදු මුදුනක වීමත්‍ ය..
2.ඒ වගේම වැඩිම ගුරුත්වය තියෙන්නේ ආක්ටික් සාගරයේ..ඒකට හේතුව පෘථිවි ධ්‍රවයේ වීමය..
එතකොට ලංකාවේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා අහයි..
ලංකාවේ අවට තමයි මුහුදු මට්ටමේ ඉදන් අවම උසකදි අඩුම ගුරුත්වයක් තියෙන වැඩිම ප්‍රදේශයක එය පැතිරී තිබෙන සමකාසන්න හොදම රට..ඒකට හේතුව සමකාසන්න වීමත් ලංකාවට යටින් ඇති ස්ථරයේ ඝනත්වය අඩු වීමත්‍ ය..මේ ඝනත්වය අඩු වීමට හේතුව කියලා උපකල්පනය කරන්නේ පාෂාණත් එක්ක ජලය මිශ්‍ර වී තිබීම හෝ ජල මූලාශ්‍ර තිබීමයි..
වැදගත්ම කාරණය ඉන්දියන් සාගරයේ ගුරුත්වය අඩුම ප්‍රදේශය ලංකාව හා අවට උනාට අඩුම ගුරුත්වය ඇති ස්ථානය තියෙන්නේ ලංකාවට දකුණු මුහුදේය..රට තුල නෙමෙයි.. (සිතියම හොදට බලන්න NASA Website දාපු - 01 වෙනි පින්තූරය)
ඉතින් මේ ස්ථානය අද මෙහෙම තිබුනට එය කාලයෙන් කාලයට වෙන්ස් වෙනවා..නියතයක් නොවේ සමහරු කියන විදිහට ඒක වැරදි මතයක්..
හිමාලයට යටින් නේපාලයෙත් ඉතා අඩු ගුරුත්වයක් තියෙනවා..
හැබැයි හිමාල කදුවැටියේ නම් වැඩි ගුරුත්වයක් තියෙනවා ඒකට හේතුව යටින් ඇති පාෂාණ ස්ථරයේ අධික ඝනත්වයයි..
අපි බලමු අඩු ගුරුත්වය නිසා මිනිසාට වෙන බලපෑම දැන්.
අඩු ගුරුත්වය නිසා වැඩි ගුරුත්වය තියෙන පෙදෙසකදීට වඩා මිනිසාගේ බර අඩුවෙනුයි පෙන්වන්නේ..හැබැයි මතක තියාගන්න ස්කන්ධය නෙමේ..
ඒවගේම අඩු ගුරුත්වය නිසාම මිනිසාගෙ පහල ශරීර කොටසේ ලේ ගමනාගමනය අඩු වෙනවා..සමහර විට ඒ තර්කයෙන්ම වෙන්න ඇති මොළයට ලේ ගමනාගමනය වැඩියි කියලා කියන්නේ..ඒ වගේම මේ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියට බලපෑමකුත් ඇති ගගනගාමීනට වගේම..
සමහරු කියනවා මේ අඩු ගුරුතවය නිසා මොලයට තියෙන ලේ ඔක්කොම ගිහිල්ලා බුද්ධිමතුන් බිහි වෙනවා කියලා මේ කලාපයේ..
ඒ තර්කයෙන්ම ගතහොත් මේ කලාපයෙන් ලෝක හොරු බිහිවෙන්නත් ඒක හේතුවක් වෙන්න පුලුවන්..
කෙසේ නමුත් මේ කාරණය ජීව විද්‍යාත්මක කාරණයක්..
තව දෙයක් තියෙනවා වැඩි මොලයේ ක්‍රියාකාරීත්වය ආධ්‍යාත්මික ශක්තියට එක එල්ලේම හේතුවක් වෙනවා කියලා අපිට කියන්න බැහැ..
මොකද හොද මිත්‍යා මතයක් මොලයටම ධාරනය කරගෙන පස්සෙන් දිව්වත් වැඩක් නැහැ ඒකෙන් ආධ්‍යාත්මය වැඩෙන්නේ නැත්නම්..
නමුත් හොද මාර්ගයක් ඔස්සේ අපි ප්‍රඥ්ඥාව මෙහෙයවා කටයුතු කරනවානම් අපිට ආධ්‍යාත්මය දියුණු කරගන්න පුලුවන්..නමුත් මේ කාරණය වෙනම සංවාද කල යුත්තක්.
ගුරුත්වය ජීවත්වීමට හොදම ස්ථානය තීරනය කරන එකම නිර්ණායකය නම් මධ්‍යස්ථ ගුරුත්වයක් ඇති ප්‍රදේශ ජීවත් වීමට වඩා සුදුසු විය හැකියි..
නාසා ලින්ක් එක - https://svs.gsfc.nasa.gov/11234
සිතියම අධ්‍යනය සදහා - රතු, තැඹිලි සහ කහ වර්ණයන්ගෙන් වැඩි ගුරුත්වයත් කොළ සහ නිල් වර්ණයන්ගෙන් අඩු ගුරුත්වයත් නිරූපණය වෙනවා.


















Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය