රාවණ සක්විති රජෙකු නොවේ ! Sakwithi Rawana king

සක්විති රාවන
සක්විති රාවණා


රාවණා සක්විති රජෙකු නොවේ 1. සක්විති රජවරුන් පිළිබඳ සඳහන් වන එකම මුලාශ්‍රය වන්නේ බුද්ධ භාෂිතය. බුදුරජාණන් වහන්සේ විසින් කල්ප දහස් ගණනට පෙර පවා සිටි සක්විති රජවරුන් පිළිබඳව බොහෝ අවස්ථා වලදී දේශනා කර තිබෙනවා. බුදුන් දේශනා කරන ලද කිසිදු දේශනාවක් තුල රාවණ රජු හෝ එම පරපුරේ වෙනත් කිසිදු රජෙකුගේ නමක් සඳහන් වන්නේ නෑ. කල්ප ගණනකට පෙර සිටි සක්විති රජවරුන් ගැන දේශනා කර තිබියදීත් මේ කල්පයේම සිටියා යයි කියනා රාවන නම් සක්විති රජෙකු පිළිබඳව කිසිදු සඳහනක් කිසිදු බුද්ධ  දේශනාවක සඳහන් වෙන්නේ නෑ.  රාවනා පිළිබඳව සඳහන් වන ලංකාවතාර නම් මහායාන සුත්‍රය කිසිසේත්ම බුද්ධ දේශනාවක් නෙවෙයි. නිර්මල බුදුදහම විකෘති කරමින් බුද්ධ පරිනිර්වාණයෙන් ඉතාම පසුකාලීනව  නිර්මාණය කල කිසිදු බුද්ධ භාෂිතයක් සඳහන් නොවන  ලංකාවතාර සුත්‍රය නම්  බහුබුතය තුළවත් රාවනා සක්විති රජෙකු යයි සඳහනක් නෑ  සක්විති රජවරුන් පිළිබඳව  මහාපරිනිර්වාණ සූත්‍රය මහාසුදස්සන සූත්‍රය චක්‍රවර්ති සිංහනාද සූත්‍රය බ්‍රහ්මායු සුත්‍රය  බහුධාතුක සුත්‍රය  බාල පණ්ඩිත සුත්‍රය  චක්කවත්ති සුත්‍රය  චක්කවත්ති අච්චරිය සුත්‍රය  චක්කානුවත්තන සුත්‍රය  අම්බට්ට සුත්‍රය  ඇතුළු තවත් බුද්ධ දේශනා රාශියක තොරතුරු සඳහන් වෙනවා. ඒවා තුල සක්විති රජවරුන්ගේ නම් ගම් පවා සිය ගණනක් සඳහන් වුනත් රාවණ හෝ ඔහුගේ පරපුරේ කිසිවෙක් ගැන කිසිදු අවස්තාවක සඳහන් වෙන්නේ නෑ. 2. රාවණ රජු පිළිබඳව සඳහන් කිසිදු මුලාශ්‍රයක් තුලත් ඔහු සක්විති රජෙකු යයි කිසිදු සඳහනක් ඇත්තේ නෑ. බුදුදහමෙන් බැහැර කිසිදු ඉගැන්වීමක සක්විති රජ සංකල්පය ඇත්තෙත් නෑ.  3. සක්විති රජවරුන් සතු කිසිදු ලක්ෂණයක් රාවණා සතුව නෑ. " දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි,"
"මහණ, මෙලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරමින් ධර්‍මයට ගරු කරමින් ධර්‍මය පුදමින් ධර්‍මය ධ්වජ කොට ඇත්තේ ධර්‍මය කෙතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ ධාර්මික වූ රකවල් ඇතුළත් ජනයා කෙරෙහි යොදයි. තවද මහණෙනි, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය ම පුදන්නේ ධර්‍මය ම ධ්වජ කොට ඇත්තේ ධර්‍මය ම කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ අනුයුක්ත වූ ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද, බමුණුගැහැවියන් කෙරෙහි ද, නියම්ගම් දනවු වැස්සන් කෙරෙහි ද, මහණබමුණන් කෙරෙහි ද, මෘගපක්‍ෂීන් කෙරෙහි ද, ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවයි."
* බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට සක්විති රජ වරුන් ධාර්මිකව ජිවත් වෙනවා වගේම රාජ්‍ය ලබාගන්නේ ධාර්මික ක්‍රමයටමයි. රාවණ රජු පර අඹුවන් පැහැරගැනීම, ඍෂිවරුන් හට හිරිහැර කිරීම ආදී අධාර්මික ගති පැවතුම් තිබුණු අයෙක් බවට  මුලාශ්‍ර වල සඳහන් වෙනවා. ඒ වගේම රාවණා රජකමට පත්වන්නේ ඊට පෙර රජ කළ කුබේර සමග යුධ කිරීමෙනුයි. ඒ වගේම කුබෙරට අයත් ආලකමන්දාව හා පුෂ්පක විමානයත් රාවණ විසින් පැහැරගත් බව සඳහන් වෙනවා. ඒ අනුව රාවණා කිසිසේත්ම ධාර්මිකව රාජ්‍ය ලබාගත් කෙනෙක් නෙවෙයි. සක්විති රජවරුන් තමන්ගේ පසමිතුරන් මිත්‍රත්වයෙන් දිනීමෙන් මිස යුධ කර පළවාහැර රාජ්‍ය ලබාගන්නේ නෑ. එසේ කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ සක්විති රජවරුන්ගේ පින් මහිමය නිසා සතුරන් පවා මිත්‍ර වෙනවා. 4. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි සක්විති රජවරයෙක් හට සත් රුවන් පහල වනවා. රාවණා හට ඒ කිසිවක් ලැබුනේ නෑ. "සත්රුවනින් සමන්විත සක්විති රජෙක් වන්නේ ද, සක්රුවන ය, ඇත්රුවන ය, අස්රුවනය, මිණිරුවන ය, ඉතිරිරුවන ය, ගැහැවිරුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත්රුවන් කෙනෙක් යම් ඒ රජක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඬනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ" සක්විති රජු හට දිව්‍යමය රෝදයක ස්වභාව ඇති චක්‍ර රත්නයක් පහල වෙනවා. එය සතර මහා දීප වලම ගමන් කරනවා. ඒ සියලු ප්‍රදේශ වල රජවරුන් සියල්ලම කිසිදු විරෝධයක් නැතුව සක්විති රජුගේ පාලනයට හිස නවනවා. චක්‍රය ගමන් කරන සියලුම භුමිය සක්විති රජුට අයත් වෙනවා. රාවණ රජුට මෙවැනි චක්‍ර රත්නයක් පහල වුනේ නෑ. එවැන්නක් ඔහු පිළිබදව සඳහන් කිසිදු මුලාශ්‍රයක සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම පිටස්තර භූමි වල රජවරු පමණක් නෙවෙයි තමන්ගේ රටේ ප්‍රභූන් පවා රාවණ රජුට විරුද්ද වුනා. * ඒ වගේම සක්විති රජු හට මෙම චක්‍ර රත්නය පහල වෙන්නේ පෝ දින උපෝසථ සිල් සමාදන් වී සිටියදී බව බුදුන් දේශනා කර තිබෙනවා.  රාවණ රජු විසින් පෙහෙවස් සමාදන් වීමක් සිදුකලා යයි කිසිදු තැනක සඳහන් වෙන්නේ නෑ. ** සක්විති රජෙකුට අහසින්  යාමට රාවන මෙන්  අනුන්ගේ යානා පැහැරගැනීමක් හෝ ඉන්ද්‍රජිත් මෙන් නිකුම්බලා, කාලි ආදීන්ට යාග හෝම කිරීමේ අවශ්‍යතාවක් නෑ. සක්විති රජුන්ට අහසින් යා හැකි ඇතෙකු හා අශ්වයෙකු පහල වෙනවා. රාවනා ට එවැනි කිසිවක් ලැබූනේ නෑ. * ඒ වගේම සක්විති රජු හට පොළව ඇතුලත මතුපිට ආදියේ ඇති නිධාන රන් මැණික් ආදිය දැකිය හැකි දිවැස් ඇති ඇමතියෙකු පහල වනවා. එවැනි පුද්ගලයෙකුගේ සහයක් රාවණ හට ලැබුණු බව කිසිදු සදහනක් ඇත්තේ නෑ.  *** ඒ අනුව සක්විති රජෙකු හට ලැබෙන සප්ත රත්න කිසිවක් රාවණ හට තිබී නෑ. 5. සක්විති රජවරුන් හට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. රාවණා සතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටීමක් ගැන කිසිදු තැනක කිසිදු සඳහනක් නෑ. 6. "පින්වත්හුගේ සෘද්ධි නම් කවර යත්, සක්විතිරජ සියුරඟසෙන් හා සමග යටත්පිරිසෙයින් අස්පලු ගොපලු පුරුෂයන් දක්වා ගෙන අහස්හි යෙයි."  - සක්විති රජෙකුට ඔහුගේ පිනට පහළ වූ ඉර්ධියක් ලෙස තමන් හා තම සේනාව අහසින් ගමන් කිරීමේ ඉර්ධියක් පිහිටනවා. රාවණ රජු හට එවැනි කිසිදු හැකියාවක් තිබුණු බවට කිසිම සඳහනක් නෑ. අහසින් යාමේ හැකියාවක් තිබුනා නම් කුබෙරගේ  විමානය පැහැරගැනීමේ අවශ්‍යතාවක් ඇත්තෙත් නෑ. තමන්ගේ සේනාව සමගින්ම අහසින් ගමන් කිරීමේ ඉර්ධියක් තිබුනා නම් රාවණ බයිලා කාරයන් කියන විදියට පිටසක්වල යානා හැදීමේ අවශ්‍යතාවක් එන්නෙත් නෑ.  7. "මහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර අර්‍ථඥ ද වෙයි, ධර්‍මඥ ද වෙයි, මාත්‍රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්‍ෂද් දන්නේ ද වේ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත සක්විති රජුගේ දෙටුපුත් පියහු විසින් පැවැත්වූ අණසක් දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් වනාහි මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි." - සක්විති රජෙකුගේ කුමාරවරුන් විසින් ධාර්මිකවම රාජ්‍ය කරන අතර ඔහුගේ අණ කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නෑ.  රාවණ රජුගේ පුතෙකු ලෙස සලකන ඉන්ද්‍රජිත් විසින් රාමායන යුද්ධයේදී මායාවක් කර සීතා ඝාතනය කරනවා මෙන් මවා පෙන්වා අධාර්මික ලෙස රාමා රවටා හීයකින් විදිනවා. ඒ වගේම ඉන්ද්‍රජිත් ගේ අණ යුද්ධයට පැමිණි සතුරන් කිසිවෙක් පිළිගන්නේ නෑ. අණ පිළිගත්තා නම් යුද්ධ කරන්න වෙන්නේ නෑනේ?  8. සක්විති රජෙකුට පුත්‍රයන් දහසකට වඩා සිටින බව බුදුන් දේශනා කර තිබෙනවා. රාවණ රජුට සිටි බව සඳහන් වෙන්නේ දරුවන් හත් දෙනෙකු පමණයි. 9. "එ සක්විති තෙම සයුරහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් දිනා අධිපති වැ විසී"  සක්විති රජවරු යුද්ධ කිරීම් අනුන්ට හිංසා කිරීම් කරන්නේ නෑ. රාවණා විසින් යුද්ධයන් කිහිපයක්ම කල බව සඳහන් වෙනවා. 10. රාවන රජුට වුනා මෙන් සක්විති රජෙකු කිසිදිනක සතුරු ආක්‍රමණයකින් මරණයට පත්වෙන්නේ නෑ. ඒ වගේම සක්විති රජෙකුගේ රාජ්‍යය පිරිහීමට ලක්වන්නේ නෑ.  මේ සියළු කාරණා අනුව රාවණා සක්විති රජෙකු යයි කීම මුළුමනින්ම ඔහු පිළිබඳව සඳහන් වෙන අයහපත් කල් ක්‍රියාවන් වලට සුදු හුණු ගා බොරු වර්ණනාවක් එක් කර නැති ගෞරවයක් ඇතිකිරීමට ගොතන ලද අමූලික බොරුවක් කියන එක ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන්.  රාවණා ඇදහීම හරහා බුදුදහම විකෘති කිරීමට හොදම උදාහරණයක් තමයි සක්විති රජෙකුගේ කිසිදු ලක්ෂණයක් නැති රාවණා සක්විති රජෙකු ලෙස මිනිසුන් මුලා කිරීම. තමන්ගේ ඇදහිල්ලට සමාජයේ වටිනාකමක් ලබාගැනීම සඳහා බුදු බණ පවා විකෘති කිරීමට මේ රාවණ මිථ්‍යාදෘෂ්ඨිකයන්ට ඉතාම පහසුවෙන් පුළුවන්.





Comments

Post a Comment

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය